උණුසුම් වචන හුවමාරුවකින් පසු මීරා රේ ගෙන් වෙන වන ඇයගේ පෙම්වතා මීරා නික්මී යන අතරතුර ඛේදජනක රිය අනතුරකින් මිය යයි. මේ සිද්ධියෙන් අතිශය කම්පනයකට ලක්ව සිටින මීරා වසර දෙකක ඇවෑමෙන් පසුවද ඒ ගැන ළතැවිල්ලෙන් පසුවේ.
සිය පෙම්වතා වෙත ආදරයෙන් කීමට ඇති බොහෝ කරුණු සිත තුළ සිර කරගෙන සිටින මීරා ඒ එකින් එක ඔහුගේ පැරණි ජංගම දුරකතන අංකයට කෙටි පණිවිඩ ලෙසින් යැවීමට පටන් ගනී. මීරා නොදන්නා දේ නම් මේ වනවිට එම ජංගම දුරකතන අංකය වෙනත් අයෙකු වෙත ලබා දී ඇති බවයි.
නගරයේ අනෙක් කෙළවර සිට මේ පණිවිඩ ලබා ගන්නා තරුණයා ජනමාධ්‍යවේදියෙකු වන අතර ඔහු අතට පත්වන අද්භූත, නමුත් සංවේදී පණිවිඩ මේ තරුණයාගේ සිත් ඇද බැඳ ගනී. ජනප්‍රිය ගායිකා සෙලින් ඩිඔන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීමට මේ තරුණයාට අවස්ථාවක් ලැබෙන්නේ මේ අතරතුරයි.

ඉන් පසුව, තරුණයාගේ එකම අරමුණ වන්නේ එම ජනප්‍රිය ගායිකාවගේද සහය ඇතිව මේ හෘදයාංගම කෙටි පණිවිඩකාරියගේ සිත දිනා ගැනීමයි.
සොෆී ක්‍රෙමර් නම් ලේඛිකාව විසින් රචනා කරන ලද ‘SMS für Dich’, , නම් ජර්මන් නවකතාව ඇසුරින් තිරයට නැගුණු එනමින් යුත් ජර්මන් චිත්‍රපටය ඇසුරින් ජේම්ස් සී. ස්ට්‍රෝස් විසින් රචනාකර අධ්‍යක්ෂණය කරන ලද ‘Love Again’ ප්‍රේමාන්විත – හාස්‍යෝත්පාදක – නාට්‍යමය චිත්‍රපටය මෙලෙස දිගහැරේ.
ජනප්‍රිය ඉන්දියානු නිළි ප්‍රියංකා චොප්රා ජොනාස් මීරා රේ ලෙස රංගනයෙන් දායක වන මෙහි, තරුණ ජනමාධ්‍යවේදී රොබ් බර්න්ස් ලෙස සෑම් හේගන් රංගනයෙන් දායක වන අතර කැනේඩියානු ගායිකා සෙලීන් ඩියොන් ගේ චරිතයට ඇය විසින්ම පණ පොවනු ලැබේ. ප්‍රියංකාගේ සැමියා ඇමරිකානු ගායක නික් ජොනාස් ද මෙහි රංගනයෙන් දායක වී සිටී.
හෘදයාංගම ආදර කතාවක් වූ මෙම චිත්‍රපටය මේ මස 5 වැනි දින සිට ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹි අතර ඇ. ඩොලර් මිලියන නවයක කුඩා පිරිවැයකින් නිර්මාණය කොට ඇත. විචාරක පැසසුම් අවම මට්ටමකින් ලබා ඇති මෙම චිත්‍රපටය සෝනි පික්චර්ස් බෙදා හැරීමකි.
sarasaviya.lk