25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

කට්ටි පනින රජයේ සේවයකයන් මට්ටු කරන නීතියක්

රජයේ සේවකයන්ගේ දිනයේ රාජකාරි කල යුතු  සේවා කාලය සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත්කර තිබේ.

ඒ කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මඟින් මේ බව දන්වා ඇත.

ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයන් අදාළ කාලසීමාව නොතකා පැමිණීම සහ පිටවීම සිදුකරන බවට නිරීක්ෂණය වීම මත මෙම නියෝගය පැනවීම සිදුකල බවට වාර්තා වේ.

එමෙන්ම මෙම චක්‍රලේඛයට අනුව පස්වරු 3.00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතු ‍බවද අනිවාර්ය කර ඇත.

ඊට අමතරව රාජකාරි කාලය තුළදී සිය කාර්යාල හැඳුනුම්පත පැලඳ සිටීම හා නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධරයන් සිය නිල ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්ය කර ඇත.

තවද මහජන දිනය ලෙස වෙන් කර ඇති සඳුදා දිනය තුළ සෑම රාජ්‍ය ආයතනයකම පහළ මට්ටමේ නිලධාරියාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා වූ සෑම තරාතිරමකම නිලධාරීන් කාර්යාලයේ රැඳීසිටීම අත්‍යවශ්‍ය බවද අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.

එදිනට අසනීප හෝ නොවැළැක්විය හැකි කරුණක් වෙනුවෙන් හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවාඩු අනුමත නොකිරීමට ආයතන ප්‍රධානියා වගබලා ගත යුතු වේ.

එමෙන්ම මහජනතාවගෙන් දිනපතා ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් සියලුම රාජ්‍ය ආයතනවල විමසීම් කවුළු, මුදල් භාර ගැනීමේ කවුළු, අයැදුම්පත් භාර ගැනීමේ කවුළු අඛණ්ඩව වීවෘතව තැබිය යුතු වන අතර රාජකාරී කාලය තුළදී වෙනත් පෞද්ගලික කටයුතු සඳහා පිටව යාම නොකළ යුතු වේ.

ආබාධිත සේවාලාභින්ට කාර්යාල වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගත යුතු බවද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles