ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
සිංගප්පූරුවේ සහ වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් ඇතුළු ලෝක නායකයන් හමුවේ ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ජපානයේ ටෝකියෝ නුවරදී අද (25) ආරම්භ වූ “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei Forum) අමතා සිය විශේෂ දේශනය සිදු කරමිනි.
ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන මෙම සමුළුව අද (25) සහ හෙට (26) ටෝකියෝ නුවරදී පැවැත්වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේ ආසියාවේ විවිධත්වය කලාපයේ ආර්ථික වර්ධනයට දායක වන සාධකයක් වන අතර එය සැළකිය යුතු ගෝලීය බලවේගයක් බවයි.
එසේම, ආසියා-පැසිෆික් කලාපය සහ ඉන්දියන් සාගරය අතර වෙනස පිළිබඳව පැහැදිළි කළ ජනාධිපතිවරයා ආසියා-පැසිෆික් කලාපය ව්‍යුහගත කලාපීය සංවිධානයක් වන අතර ඉන්දියන් සාගර කලාපය නැගී එන අවකාශයක් බව ද සඳහන් කළේය.1955 බැන්ඩුං නුවර පැවති ආසියානු අප්‍රිකානු සමුළුවේ දි සහ ඉන්දියන් සාගරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය ඉන්දියන් සාගර කලාපය සාම කලාපයක් ලෙස නම් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉන්දු පැසිෆික් කලාපයේ සබඳතා පෝෂණය කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කර සිටියේය.

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාගේ “සාමය සඳහා වූ මූලධර්ම සහ සෞභාග්‍යය සඳහා වූ නීති” ප්‍රතිපත්තියට තම පූර්ණ සහාය පළ කරන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා බොහෝ දෙනා ආසියාවේ ප්‍රගතියට සහ සංවර්ධනයට ප්‍රමුඛත්වය දීමට තීරණය කර ඇති බැවින්, ගෝලීය මහා බලවතුන්ගේ එදිරිවාදිකම්වලදී පක්ෂග්‍රාහීව කටයුතු කිරිමෙන් ආසියානු ජාතීන් වැළකී සිටින බව ද පැවසීය.
චීනය සමඟ ස්ථාවර සබඳතාවක් ගොඩනගා ගැනීම සඳහා ජපානයේ G7 සහයෝගීතා ප්‍රවේශයේ වැදගත්කම පිළිගත් ජනාධිපතිවරයා “නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික්” කලාපයක් සඳහා ජපානයේ දැක්මට සහාය පළ කළ අතර කලාපයේ සාමය සහ සහයෝගීතාව පෝෂණය කිරීම සඳහා ආසියානු ජාතීන් අතර විවෘත සංවාදයක් ද ඉල්ලා සිටියේය.