ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු අධ්‍යක්ෂ ජනරාල් කෙනෙච් යොකොයාමා මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2022.09.12 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
මෙරට ආර්ථික පුනර්ජීවන සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. රටේ සංවර්ධනයට හා ආර්ථික හා මූල්‍ය අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට යොකොයාමා මහතා සිය සහයෝගය සහතික කළේය. ආර්ථිකය පුනර්ජීවනය කිරීමට රජය ගෙන ඇති පියවර අග්‍රාමාත්‍යවරයා ඔහුට විස්තර කළේය.
සමාජයේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම අරමුණු කරගත් වැඩසටහන් පිළිබඳව අවධානය යොමු විය. නිෂ්පාදනය ඉහළ නැංවීමට ග්‍රාමීය කෘෂිකර්ම සංවර්ධන සැලසුම් පුළුල් කිරීමට,සහය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා ඉල්ලීම් කළේය.
ආසියානු සංවර්ධන බැංකුව දැනටමත් ලබාදීමට තීරණය කර ඇති ඩොලර් මිලියන දෙසීයක හදිසි ආධාර ණය මුදල සහ ආසියා පැසිෆික් කලාපයේ සෞභාග්‍ය හා ඔරොත්තුදීම පිළිබඳ ජපන් අරමුදල ලබාදෙන ඩොලර් මිලියන තුනක ප්‍රදානය පිළිබඳවද කෙනෙචි යොකොයාමා මහතා මෙහිදී සිහිපත් කළේය.(japan fund for prosperous and resilient asia and the pacific ) එමගින් දිළිඳු හා ආර්ථික අවදානමට ලක්විය හැකි කාන්තාවන්ට හා ළමයින්ට ආහාර සඳහා ප්‍රවේශය සහතික කෙරෙනු ඇත.
ජල සම්පාදනය, පළාත්පාලන යටිතල පහසුකම් සංවර්ධනය, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සදහා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. එම ව්‍යාපෘති නිම කිරීම සඳහා තවදුරටත් සහය ලබා දීමේ හැකියාව සලකා බලන බව ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ, ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.